ශ්‍රී ලංකාවේ භෞමික ඩිජිටල් රූපවාහිනී විකාශණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ඉංජිනේරු උපදේශන සේවා ගිවිසුම අත්සන් කෙරේ.
ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශණ ඩිජිටල්කරන ව්‍යාපෘතිය (DTTB) ක්‍රියාත්මක කිරීමට අදාලව ඉංජිනේරු උපදේශන සේවා ගිවිසුම අත්සන් කිරීම ඊයේ ( 03) ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉසොමතා අකිඕ (Isomata Akio) මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.
මෙම අවස්ථාවට ගරු, මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම, ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ජයිකා – ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධාන නියෝජිත Kenji Kuronuma, ශ්‍රී ලංකාවේ ජපන් නියෝජ්‍ය තානාධිපති කමොශිඩා නඕකි (Kamoshida Naoaki) යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක් ව සිටියහ.
මෙම ගිවිසුම අත්සන් කිරීම කොළඹ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී (information and Communication Technology Agency of Sri Lanka – ICTA) සිදු කෙරුණ අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ජපාන ඉංජිනේරු උපදේශන සේවා ආයතනය වෙනුවෙන් එහි කළමනාකරන අධ්‍යක්ෂක ගාකු අඩාචි (Gaku Adachi) මහතා ගිවිසුම නිල වශයෙන් අත්සන් කරන ලදි.
ජපන් තාක්ෂණය මත පදනම් වූ ඩිජිටල් රූපවාහිනී විකාශන පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාව 2014 දී JICA ණයක් ලබාගෙන ඇති නමුත් පසුගිය පාලනයන් එය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී තිබූ පසුබිමක වර්තමාන ආණ්ඩුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සක්‍රීය මැදිහත්වීම සිදු කළේය. මෙම ව්‍යාපෘතිය සංවර්ධනය වෙමින් පවතින රටවල සංවර්ධන ප්රයත්නයන් සඳහා මූල්‍යකරණ කටයුතු සිදු කරන Official Development Assistance (ODA) ජයිකා (JICA) මූල්‍ය හා තාක්ෂණික ආධාර ඇති ව ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සැලසුම් කොට මෙහෙයවනු ලබයි. ලොවපුරා වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතින ප්‍රවණතාවයට අනුගත වීම මෙහි මූලික අරමුණ වී තිබේ. මේ ඔස්සේ භෞමික රූපවාහිනී සංඥා දුර්වලතා ඉවත් කිරීම හේතුවෙන් සුපැහැදිලි දසුන් සහිත වැඩසටහන් නැරඹීමේ හැකියාව ලැබේ.
ශ්‍රී ලංකාවේ වත්මන් රූපවාහිනී සහ ගුවන්විදුලි භෞමික–සම්ප්‍රේෂණ සිතියම පදනම් වී ඇත්තේ ඇනලොග් තාක්ෂණය මතය. ලෝකයේ බොහෝ රටවල් දැන් ඩිජිටල් වේදිකා වෙත මාරු වී හෝ ගමන් කරමින් සිටී. ඩිජිටල් තාක්ෂණය තුලින් ඇනලොග් සම්ප්‍රේෂණ දුර්වලතා මඟහරවා ගන්නා අතර විශාල අගය එකතු කිරීමක් ලෙස, ඇනලොග් ක්‍රමවේදයට වඩා වැඩි තොරතුරු රැගෙන යාමට සමත් වේ. මෙම ධාරිතාව වැඩි කිරීමේ විශේෂ හැකියාව නිසා එක් සංඛ්‍යාත පරාසයක් මත වැඩසටහන් කිහිපයක් ගෙන යාමට උපකාරී වන බැවින්, ඩිජිටල් රූපවාහිනී සම්ප්‍රේෂණ තාක්ෂණය ඇනලොග් ක්‍රමයට වඩා සමස්ථ ගුවන්විදුලි තරංග පද්ධතියේ (Frequency Spectrum) ඉහළ ඵලදායිතාවක් ඇති කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය නිමවීමෙන් පසු, ඇනලොග් සම්ප්‍රේෂණ පද්ධතිය ක්‍රියා විරහිත කරනු ලබන අතර, මෙම තරංග පද්ධතිය විදුලි සංදේශ කටයුතු සහ ඩිජිටල් ආර්ථික කටයුතු සඳහා ඵලදායී ලෙස යොදාගත හැකි අතර ඊට අමතරව රජයට මෙම සංඛ්‍යාත මුදා හැරීම මගින් අමතර ආදායම් උපයන්නක් බවට ද පත් වේ. මෙම ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සඳහා ඵලදායි ලෙස රජයට ස්වයං මූල්‍යකරණ ලැබිය හැකි ව්‍යාපාරයක් වේ.

